Monday, September 14, 2009

පව් රැස් කරනා මිනිසා

ඉධ සෝචති පෙච්ච සෝචති - පාපකාරී උභයත්ථ සෝචති
සෝ සෝචති සෝ විහඤ්ඤති - දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ

තේරුම:

පව් රැස් කරනා මිනිසා - මෙලොව ශෝක වෙයි එනිසා
පරලොවදිත් ශෝක වෙමින් - දෙලොව ම දුක් වෙයි එනිසා
තමා විසින් රැස් කරගත් - පව් ගැන සිහිපත් වෙන විට
ශෝක වෙවී දුක් විඳිමින් - තැවෙයි නිතර දුකින් යුතුව

පව් කරන කෙනා එයට වසඟ වෙනවා. අන්තිමේ දී එයාට පවෙන් නිදහස් වෙන්න බැරිව යනවා. පින් කරන්න පුළුවන් හැකියාව ටික ටික නැති වෙලා යනවා. පිනක් මතක් වුණත් පව් බලවත් නම්, සිත පිනට යොමු කරගන්න අමාරු යි. ආයෙ ආයෙමත් පුරුදු කරපු පවට ම සිත නැඹුරු වෙනවා. මේ නිසා පවේ ඇති භයානකකම නිතර නිතර සිහි කරන්නට ඕන. පව්වල භයානක විපාක ගැන බුදු රජාණන් වහන්සේ පෙන්වා දී වදාළ දහම් කරුණු නිතර නිතර සිහි කරන්න ඔන. දුකට අකැමැති වෙන්න ඕන. දුක ලැබෙන්නේ පව හේතු කරගෙන නිසා ඒ පව දුරින් ම දුරු කරදමන්න ඕන.

"ඕක ඉතින් පොඩි පවක් නෙ" කියලා තමන්ට විපාක දෙන්ට තමා කරා එන්නෙ නෑ කියලා ගණන් නොගෙන ඉන්ට එපා. වතුර වුණත් බිංදුව බිංදුව වැටිලා තමයි කලයක් පිරෙන්නෙ. අඥාන පුද්ගලයාත් ටික ටික වුණත් පව් කරනකොට, ඒ පව් එකතුවෙලා අන්තිමේ දී ජීවිතය පව් වලින් ම පිරිලා යනව."
(ධම්ම පදය-121)

තෙරුවන් සරණයි!!!